මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ ආරම්භය හා මෙතෙක් ආ ගමන් මඟ

නව අධ්‍යාපන රටාව තුළ දැවැන්ත පෙරළියක් ඇති කරමින් මහින්ද චින්තන ඉදිරි දැක්ම හා යමින් ද්විතියික පාසල් 1000 ව්‍යාපෘතියේ ආරම්භක පියවර ලෙස හෝමාගම, පිටිපන අක්කර 26 ක වූ භූමි ප්‍රමාණකය පැවති පොල් ඉඩම සංවර්ධනය කරමින් 2011.01.20 දින මහින්ද රාජපක්ෂ විද්‍යාලය ආරම්භ කෙරිණි.

මුළු මහත් විශ්වයට ම අභිමානවත් දූ දරු පිරිසක් නිර්මාණය කිරීමේ උදාරතර වගකීම දරම්න් රටේ සමස්ත පාසල් පද්ධතිය ම ඒ වෙනුවෙන් සක්‍රීය කිරීමේ ජාතික අවශ්‍යතාවය හඳුනාගත් එවක ගරු අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මැතිතුමා මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ නිර්මාතෘවරයා විය.

දකුණු ආසියාවේ විශාලතම ආදර්ශ ද්විතියික පාසල ලෙසින් සමාන්තර පන්ති 17 කින්  යුතුව මෙම විද්‍යාලය ආරම්භ කිරීමට සැලසුම් කරන ලදි. ඒ අනුව මූලික අදියර වශයෙන් ශිෂ්‍යත්වය සමත් දරුවන් 680  දෙනෙක් බඳවා ගැනීමට ශිෂ්‍යත්වය සමත් දරුවන් සම්මුඛ පරීක්ෂණයකින් තෝරා ගන්නා ලදි. මෙහිදී විශේෂ දක්ෂකම් සහිත දරුවන් හටද අවස්ථාවක් ලබාදුනි. එසේම එම වසරේ පළ කළ පුවත් පත් දැන්වීමකට අනුව විද්‍යාලය සඳහා ආචාර්ය මණ්ඩලය අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති විශේෂ  සම්මුඛ පරීක්ෂණයකින්  තෝරා ගත් අතර පළමු ආචාර්ය මණ්ඩලය ලෙස විදුහල්පති, නියෝජ්‍ය විදුහල්පති ඇතුළුව අධ්‍යයන කාර්ය මණ්ඩලය 32 ක් ලෙස බඳවා ගන්නා ලදි.  ප්‍රථම විදුහල්පතිවරයා  වශයෙන් එස්.එච්.එන් ද සිල්වා මහතා පත් කරන ලදි.

2011.11.19 වන දින තේරී පත්වූ නව විදුහල්පතිවරයා හා නව ආචාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් සර්ව රාත්‍රිත පරිත්‍රාණ ධර්ම දේශණයක් හා මහා සංඝරත්නය උදෙසා දානමය පුන්‍ය කර්මයකින් අනතුරුව එවක ගරු අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2011.01.20 දින පළමු ශිෂ්‍යයා ලියාපදිංචි කරමින් පාසලේ වැඩ ආරම්භ කරන ලදි.

එතැන් පටන් ආචාර්ය මණ්ඩලය හා විදුහල්පතිතුමාගේ නොමද කැපවීමෙන් පෙ.ව. 7.30 සිට ප.ව. 3.00 දක්වා පාසල තුළ අධ්‍යයන කටයුතු හා විෂය සමගාමී ක්‍රියාකාරකම් රැසක්  ම සිදුවිය. පාසලේ පැවති සුවිශේෂීතා අතර සෑම පොහෝදිනක ම අධ්‍යයන කාර්ය මණ්ඩලය හා ශිෂ්‍ය ශිෂ්‍යාවන් පෙහෙවස් සමාදන්වීම. 1.30 සිට සතියේ දින පහේම ක්‍රියාත්මක වූ විෂය බාහිර ක්‍රියාකාරකම් සඳහා සෑම ශිෂ්‍ය ශිෂ්‍යාවක් ම සහභාගී වූ අතර ඒ තුළින් අධ්‍යාපනය ට අමතර ව විශේෂ කුසලතා ඇති කරගැනීමට හැකියාව ලැබුණි.

පාසල ආරම්භ කොට සති කිහිපයක් ඇතුළත පවත්වන්නට යෙදුණු නිවාසාන්තර මළල ක්‍රීඩා උත්සවය ඉතා අලංකාරවත් අයුරින් පවත්වන්නට ඇදුරු මඩුල්ල කටයුතු කළහ. ඊට අමතර ව හිස වෙස් තැබීමේ මංගල්‍යය, සියලු අංගයන්ගෙන් සමන්විත සිංහල හා  හින්දු අලුත් අවුරුදු උත්සවය,  වෙසක් පොහොය නිමින්තතෙන් පැවැත් වූ තොරණ හා දර්ශනීය වෙසක් පහන් කූඩු තරගය හා බැති ගී ප්‍රසංගය මෙන්ම බෞද්ධ නාට්‍යඇතුළත් වෙසක් කලාපය, ඇසළ මහා සිසු පෙරහැරට ලබා දුන් දායකත්වය, අධ්‍යාපන චාරිකා, කලා උළෙල, ජීවන නිපුණතා කඳවුර , පෙරදිග, අපරදිග තූර්යවාදක කණ්ඩායම් ඇතිකිරීම, මිහිසර සංස්කෘතික ප්‍රසංගය පැවැත්වීම, තොරතුරු තාක්ෂණ දින ප්‍රදර්ශනය හා විදේශ භාෂා දින උත්සව ආදී විශාල කටයුතු රාශියක් එක් වසරක් තුළ සිදු කෙරිණි.

පාසල ආරම්භ වී ක්‍රමයෙන් ශිෂ්‍ය සංඛ්‍යාව වර්ධනය වීමත් සමඟ අධ්‍යයන කාර්ය මණ්ඩලය ද ක්‍රමයෙන් වර්ධනය විය. සෑම ශ්‍රේණියක ම පාසල් පොදු අධ්‍යාපන ක්‍රියාවලිය ක්‍රියාත්මක වන අතර සෑම ශ්‍රේණියක ම පන්ති 4 බැගින් ද්විභාෂාවෙන් (සිංහල/ඉංග්‍රීසි) ඉගැන්වීම සිදුකෙරේ.  උසස් පෙළ විද්‍යා, ගණිත, කලා, වානිජ යන සියලු විෂය ධාරා යටතේ 12 ශ්‍රේණියේ ඉගැන්වීම් සිදුකෙරෙන අතර2014 හා 2015 වර්ෂ වලදී උසස්පෙළ විභාගයට පෙනී සිටි ශිෂ්‍ය සංඛ්‍යාව 400 ක් ඉක්මවිය.

2011 වර්ෂයේදී පාසල ලද සුවිශේෂී ජයග්‍රහණ  වන්නේ නර්තන අංශයේ සමස්ත ලංකා ප්‍රථම ස්ථානය දිනා ගැනීමයි. 2013 වර්ෂය වන විට ක්‍රීඩා අංශයේ ජයග්‍රහණ අතර බැට්මිට්ටන් ක්‍රීඩාවෙන් සමස්ත ලංකා  ශූරතාවය දිනාගන්නට පාසල සමත් විය. එසේම ක්‍රිකට් ක්‍රීඩාවේ 15 න් පහළ සමස්ත ලංකා ශූරතාවය දිනා ගැනීමට විද්‍යාලය 2015 වර්ෂයේදී සමත් විය.

මෙලෙස විශාල ජයග්‍රහණ රැසක් පාසලට එක් කරමින් කලාප, පළාත් හා සමස්ත ලංකා ජයග්‍රහණ අත්කරදෙමින් ගමන් කරන අපේ පාසල පාසල් දහස ව්‍යාපෘතිය තුළ ක්‍රියාත්මක වූ සුවිශේෂි පාසලක් ලෙස ප්‍රදේශය තුළ කැපී පෙනෙයි.